දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ හයක් එක්ව පිහිටුවා ගත් එකමුතුවේ නියෝජිතයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ හමුවක් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සහ උතුරු, නැගෙනහිර මෙන්ම මලෛයගම් ප්‍රජාව මුහුණ දී ඇති ඉඩම් ගැටලු සම්බන්ධයෙන් මෙහිදී නියෝජිතයින් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් සහ කඩිමුඩියේ නොගොස් නව ජනතා සම්මුතියක් මත පුළුල් කතිකාවකින් යුතුව ව්‍යවස්ථා සංශෝධනයකට එළැඹීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
එමෙන්ම, වතු කම්කරුවන්ට පර්චස් 10 ක ඉඩම් අයිතිය ලබා දීම සඳහා ඉදිරියේදී නව වතු සමාගම් ගිවිසුම්වලට එළැඹීමටත්, යුද්ධයෙන් හා ආපදාවලින් නිවාස අහිමි වූවන් සඳහා ඉදිරි අයවැය හරහා පුළුල් නිවාස සහ ආර්ථික සහන සැලසීමටත් රජය පියවර ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. මෙම හමුව සඳහා එම්.ඒ. සුමන්තිරන්, රවුෆ් හකීම්, ජීවන් තොණ්ඩමන් සහ වී. රාධක්‍රිෂ්ණන් ඇතුළු පක්ෂ නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ.














