පවතින අධික වර්ෂාපතනයත් සමඟ ප්‍රධාන ගංගා රැසක ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව මහවැලි ගඟේ ජල මට්ටම පේරාදෙණිය සහ නාවලපිටිය ප්‍රදේශවලින් මහ ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති බව පස්වරු 3.30 ට නිකුත් කරන ලද නවතම ගංගා මට්ටම් වාර්තාවේ සඳහන් වේ.
පේරාදෙණිය මිනුම් මධ්‍යස්ථානයේ මහවැලි ගඟේ ජල මට්ටම මීටර් 9.20 ක් ලෙස සටහන් වී ඇති අතර, එය මහ ගංවතුර මට්ටම වන මීටර් 9 ක සීමාව ඉක්මවා යෑමකි. එසේම, නාවලපිටිය මධ්‍යස්ථානයේ ජල මට්ටම මීටර් 7.85 ක් ලෙස වාර්තා වී ඇති අතර එහි මහ ගංවතුර මට්ටම මීටර් 6 කි. මීට අමතරව, කිතුල්ගලින් කැළණි ගඟ, හොළොඹුවෙන් ගුරුගොඩ ඔය, දෙරණියගලින් සීතාවක ගඟ, නෝර්වුඩ් වලින් කෙහෙල්ගමුව ඔය සහ රත්නපුරයෙන් කළු ගඟ යන ප්‍රදේශවලින් සුළු ගංවතුර තත්ත්වයන් වාර්තා වී ඇත. ඇතැම් ප්‍රදේශවල ජල මට්ටම අඩුවෙමින් පැවතියද තවත් ප්‍රදේශවල එය තවදුරටත් ඉහළ යමින් පවතින බැවින්, ගංගා ආසන්නයේ සහ පහත් බිම්වල ජීවත් වන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස බලධාරීහු ඉල්ලා සිටිති.














