ජාතික ලොතරු මණ්ඩලයෙන් නිකුත් කරනු ලබන ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල පදනම් කරගනිමින් දිවයිනේ ප්‍රදේශ රැසක පවත්වාගෙන යනු ලබන “කොටු කැපීම” නමැති නීතිවිරෝධී සූදු ජාවාරමට සම්බන්ධ වන සහ අනුබල දෙන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ජාතික ලොතරු මණ්ඩලයේ සභාපති සිරිල් ඇන්ටනී පෙරේරා මහතා පවසයි.
කොළඹදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර, ‘මහජන සම්පත’ ලොතරැයියේ දිනුම් වාරයන්හි අවසාන අංක දෙක පදනම් කරගනිමින් මෙම නීතිවිරෝධී සූදුව සංවිධානාත්මකව පවත්වාගෙන යන බව හෙළි කළේය. පොළොන්නරුව, රත්නපුර, බඩල්කුඹුර, පාදුක්ක සහ අවිස්ساවේල්ල වැනි ප්‍රදේශවල මෙම ජාවාරම බහුලව ක්‍රියාත්මක වන බවත්, ඇතැමුන් සමාජ මාධ්‍ය හා WhatsApp හරහා මෙම ව්‍යාජ අංක අලෙවි කරන බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම අපරාධ රහස් පරීක්ෂණ කාර්යාංශය දැනුවත් කර ඇති අතර, මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ පුද්ගලයන් දෙදෙනෙකුට මීට පෙර බිබිල මහේස්ත්‍රාත් අධිකරණය මඟින් මූල්‍ය දඩ සහ මාස 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ. ලොතරැයි අලෙවි ජාලයේ 25,000කට අධික පිරිසකගේ ආදායම සහ මහජනතාව මෙම සූදුවෙන් ආරක්ෂා කිරීමට දැඩි පියවර ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














