ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආගමික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට විශේෂ අවධානයක් යොමුව තිබේ. ඉන්දියාවේ චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහා කොමසාරිස් ආචාර්ය ගනේෂනාදන් ගීතිස්වරන් මහතා, කේරළ ප්‍රාන්ත ආණ්ඩුකාර ශ්‍රී රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලේකර් මහතා හමුවී පැවැත්වූ සුහද සාකච්ඡාවකදී මේ බව අනාවරණය වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම හමුවේදී ආගමික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ සංස්කෘතික සබඳතා පුළුල් කිරීම පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කර තිබේ. වාර්ෂිකව ශබරිමලා දේවාලය වැඳපුදා ගැනීමට ශ්‍රී ලංකාවෙන් පැමිණෙන විශාල බැතිමතුන් පිරිසට අවශ්‍ය පහසුකම් සැලසීම සහ ආගමික සංචාරක ව්‍යාපාරය තවදුරටත් වර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ගැන නියෝජ්‍ය මහා කොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දුන් අතර, දෙරට අතර සහයෝගिताව වර්ධනය කිරීමට තම පූර්ණ සහයෝගය ලබාදෙන බවට කේරළ ආණ්ඩුකාරවරයා සහතික විය. ආණ්ඩුකාරවරයාගේ විශේෂ මැදිහත්වීම මත නියෝජ්‍ය මහා කොමසාරිස්වරයා වෙනුවෙන් ඓතිහාසික ශ්‍රී පද්මනාභස්වාමි දේවාලයේ විශේෂ සංචාරයක්ද මෙහිදී සංවිධානය කර තිබිණි.














