ඉන්දියාවේ අසෑම් සහ කේරළ යන ප්‍රාන්තවලට බලපා ඇති දරුණු ගංවතුර හා වර්ෂා තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ජනජීවිතය සම්පූර්ණයෙන් ම අඩාල වී තිබේ.
අසෑම් ප්‍රාන්තයේ ඇති වූ ගංවතුර උවදුරින් මියගිය සංඛ්‍යාව 87 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවමත් ලක්ෂයකට අධික පිරිසක් අවතැන්ව සිටිති. සිව්සාගර් දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, සහන කඳවුරු රැසක් ක්‍රියාත්මක කරමින් පීඩාවට පත් ජනතාවට සහනාධාර බෙදා හැරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී. ඉදිරි දිනවලදීද අසෑම් ප්‍රාන්තය ආසන්න ප්‍රදේශවලට අධික වැසි අපේක්ෂා කරන බව කාලගුණ අංශ අනතුරු අඟවා ඇත.
මේ අතර දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට ද ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් බරපතළ හානි සිදුවී ඇති අතර, පුද්ගලයන් 17 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. තවත් 13,000කට වැඩි පිරිසක් අවතැන් වී සිටින අතර, අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ආරක්ෂක පියවරක් ලෙස ආපදාවට ලක් වූ ප්‍රදේශවල පාසල් වසා දමා ඇති අතර, පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීමට ප්‍රාන්ත රජයන් කඩිනමින් පියවර ගනිමින් සිටියි.
















