ඕමානය ආසන්න මුහුදු තීරයේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ ග්‍රීක සමාගමකට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හඳුනා නොගත් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි බ්‍රිතාන්‍ය සමුද්‍රීය ආරක්ෂණ සංවිධානය ප්‍රකාශ කර තිබේ.
මෙම ප්‍රහාරයත් සමඟ නෞකාවේ විශාල ගින්නක් හටගෙන ඇති අතර, එහි තුන්වැනි ඉංජිනේරු ලෙස කටයුතු කළ නාවිකයකු අතුරුදන් වී ඇති බවට තොරතුරු ලැබී ඇත. ගින්න හටගැනීමත් සමඟ නෞකාවේ කාර්ය මණ්ඩලය සහාය ඉල්ලා හදිසි පණිවුඩ නිකුත් කර තිබේ.
අතුරුදන්වූ නාවිකයා පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැති අතර, ඕමාන බලධාරින් ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත. මේ වන තෙක් කිසිදු පාර්ශ්වයක් මෙම ප්‍රහාරයේ වගකීම බාරගෙන නොමැත.
දින 5ක් ඇතුළත ඕමානයේ මුසන්දම් අර්ධද්වීපය ආසන්නයේ සිදුවූ සිවු වැනි නෞකා ප්‍රහාරය මෙය වන අතර, මෙම ප්‍රහාර මාලාවත් සමඟ හෝමූස් සමුද්‍ර සන්ධියේ ඕමානයට අයත් මුහුදු තීරය දැඩි අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබේ. අනතුරට ලක්වූ නෞකාවේ කාර්ය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් මුදා ගැනීමට ඕමාන වෙරළාරක්ෂක බළකාය සමත්වී ඇති අතර, අතුරුදන් වූ නාවිකයා සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
















