අයහපත් කාලගුණය හේතුවෙන් 2023 වසරේදී තම නිවාසවලට සිදුවූ හානි සඳහා මෙතෙක් කිසිදු නිසි පියවරක් ගෙන නොමැති බවට චෝදනා කරමින් නාවලපිටිය ඉඹුල්පිටිය ගල්ඔය කොටසේ වතුකරුවන් පිරිසක් අගෝස්තු 05 දින පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමිය තුළ ප්‍රවේශ මාර්ගය අවහිර වන අන්දමින් අසුන් ගනිමින් දැඩි විරෝධතාවක නිරත වූහ. මීට වසර තුනකට ඉහතදී ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් අබලන් වූ ගල්ඔය කොටසේ පදිංචි පවුල් 10ක සාමාජිකයන්ට විකල්ප ඉඩම් ලබා දෙන බවට ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ආයතන පොරොන්දු වුවද, පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් එම කටයුතු නිසි පරිදි සිදු නොකරන බවට උද්ඝෝෂකයෝ චෝදනා කළහ.
ප්‍රාදේශීය ලේකම්තුමිය හමුවීමට ගිය අවස්ථාවේදී ඇය රාජකාරියට බාධා නොකර ඉවත්වන ලෙස දන්වා පොලිස් පැමිණිල්ලක් කරන බවට තර්ජනය කළ බව පවසමින් පිරිස ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙලෙස විරෝධතාව ආරම්භ කළහ. පවතින අයහපත් කාලගුණය නිසා එම අබලන් නිවාසවල තවදුරටත් රැඳී සිටීමට ඇති බිය හේතුවෙන් කඩිනම් විසඳුමක් ඉල්ලා සිටි ඔවුන් සමඟ නාවලපිටිය පොලිස් ස්ථානාධිපති කේ.එම්. කුලතුංග මහතා සාකච්ඡා පවත්වන ලදී. පසුව ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මියද පැමිණ උද්ඝෝෂකයන් සමඟ අදහස් හුවමාරු කරගත් අතර, අගෝස්තු 06 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ඇතුළු අදාළ සියලු පාර්ශ්ව ගෙන්වා මෙම ගැටලුවට විසඳුම් ලබා දෙන බවට පොලිසිය ලබා දුන් පොරොන්දුව මත විරෝධතාකරුවෝ සාමකාමීව විසිර ගියහ.













