ශ්‍රී ලංකාවේ සාගර උරුමය සුරැකීම, මුහුදු ප්‍රදේශ හා වෙරළබඩ මුහුදු තීරය පාරිසරික දූෂණයෙන් ආරක්ෂා කිරීම සහ ධීවර වරායන්හි ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගත් විශේෂ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් අගෝස්තු 05 වන දින පස්වරුවේ පරිසර අමාත්‍යාංශයේදී පැවැත්විණි. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණි.
මීට පෙර පැවති ආරම්භක සාකච්ඡාවේ යෝජනාවල ප්‍රගතිය මෙහිදී දැඩි අවධානයට ලක් වූ අතර, ජනාධිපතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ධීවර වරායන්හි ආරක්ෂක හිඩැස් හඳුනා ගැනීමට ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට සහය වීමේ කටයුතු විධිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය. වෙරළබඩ සහ සාගර සංරක්ෂණ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සංචාරක, ආරක්ෂක, ධීවර අමාත්‍යාංශ සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළත් ඒකාබද්ධ කමිටුවක් මේ වන විට පිහිටුවා ඇත. ධීවර වරාය ආශ්‍රිත තෙල් සහ රසායනික ද්‍රව්‍ය කාන්දුවීම්, හදිසි ගිනි අනතුරු මෙන්ම අනෙකුත් පාරිසරික දූෂණ වැළැක්වීම සඳහා තිරසාර ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදා නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම ස්වභාවධර්මය සංරක්ෂණය සඳහා වන අන්තර්ජාතික සංගමයේ (IUCN) උසස් නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.














