මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ නවීකරණ සහ සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබේ.
ජනාධිපති කාර්යාලයේදී පැවති මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ 2026 වසරේ ප්‍රගති සමාලෝචන සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත. එහිදී විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුමේ ප්‍රගතිය, පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පහසුකම් ඉහළ නැංවීම සහ සියලු පුනරුත්ථාපන ආයතන ඒකාබද්ධ ජාතික වැඩසටහනකට ගෙන ඒමේ අවශ්‍යතාව පුළුල් ලෙස සාකච්ඡාවට ලක් විය.
එමෙන්ම කුලී පදනමින් පවත්වාගෙන යන පොලිස් ස්ථාන සඳහා ස්ථීර ගොඩනැගිලි ඉදිකිරීම, වසර 20කට වඩා පැරණි වාහන වෙනුවට නව වාහන ලබා ගැනීම, පොලිස් මූලස්ථාන සහ රෝහල් යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම ශ්‍රී ලංකා පොලීසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.














