නැඟෙනහිර විශ්වවිද්‍යාලයට අයත් ත්‍රිකුණාමල මණ්ඩපයේ ආපණ ශාලාවකදී නවක සිසුන් පිරිසකට නවකවදය ලබාදෙමින් ලිංගික කෲරත්වයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම මණ්ඩපයේ සිසුන් 6 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පෙරේදා (05) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවකවද පැමිණිලි විමර්ශන ඒකකය විසින් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මණ්ඩපයට අයත් ජනසන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යයන පීඨයේ සිසුන් පස්දෙනෙකු සහ එක් සිසුවියකි.
පසුගිය 2025 අප්‍රේල් 29 වැනි දින නවක සිසුන්ට නවකවදය ලබාදීම සහ ලිංගික කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත මෙම පියවර ගෙන ඇති අතර, සැකකරුවන් සහ සැකකාරිය ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.














