නොමේරූ සහ අඩු බර දරුවන් සඳහා මව්කිරිවල ඇති වැදගත්කම සහ සමාජයේ පවතින වැරදි මත පිළිබඳ කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ නව ජන්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කිශානි ලූකස් මහත්මිය ‘දිනමිණ’ සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් වැදගත් කරුණු රැසක් අනාවරණය කළාය.
මව්කිරිවල අද්විතීය ස්වභාවය: මව්කිරි යනු දරුවාගේ වයස සහ අවශ්‍යතාවට ගැළපෙන පරිදි ස්වභාවිකවම සංයුතිය වෙනස් වන ‘ජෛවීය කිරි‘ විශේෂයකි. ප්‍රතිශක්තිය ඉතා අඩු නොමේරූ දරුවන්ට මව්කිරිවල ආරක්ෂාව සාමාන්‍ය දරුවන්ටත් වඩා වැඩියෙන් අවශ්‍ය වේ.
කොලස්ට්රම් (‘රන් කිරි‘) වල වැදගත්කම: ඉතා අඩු බරකින් හෝ නොමේරූ ලෙස ඉපදෙන දරුවන්ට කිරි උරා බීමට ශක්තියක් නොමැති බැවින්, මවගෙන් දොවාගත් කිරි බටයකින් හෝ කෝප්පයකින් ලබා දිය යුතුය. පළමු පැය 24 ඇතුළත ලබාදෙන මෙමඟින් ආසාදන ඇතිවීම අඩුවී දරුවාගේ බර ඉක්මනින් වැඩි වේ.
කැංගරු සත්කාරය (Kangaroo Mother Care): දරුවා ඉපදුණු විගස මවගේ හෝ පියාගේ සමට සම ස්පර්ශ වන සේ තබා ගැනීම මඟින් දරුවාගේ උෂ්ණත්වය පවත්වා ගැනීම, හෘද ස්පන්දනය සහ හුස්ම ගැනීම යථා තත්ත්වයට පත් වන අතර මව්කිරි නිෂ්පාදනය ද වැඩි වේ.
පිටිකිරිවලින් සිදුවන හානිය: අනුන් සතුටු කිරීමට හෝ බඩගිනි යැයි සිතා දුර්වල දරුවෙකුට පිටිකිරි බිංදුවක් දුන්නද, එයින් දරුවාගේ ක්ෂුද්රජීවී සහ ජාන පද්ධතියට දැඩි හානියක් සිදුවන අතර අනාගතයේදී දියවැඩියාව, තරබාරුකම සහ පිළිකා වැනි අවදානම් වැඩි කරයි.
මවගේ සෞඛ්‍යයට වාසි: මව්කිරි දීම මඟින් මවට පියයුරු සහ ඩිම්බකෝෂ පිළිකා වැළඳීමේ අවදානම අඩුවෙන අතර දියවැඩියාව සහ මානසික ආතතියද පාලනය වේ.













