පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අධ්යක්ෂවරයා ලෙස පත්කර සිටින එච්.එම්.එච්.ඒ. කපිලරත්න නමැති විශ්‍රාමික මේජර්වරයා කිසිදු නිසි බඳවාගැනීමේ පටිපාටියකින් තොරව හදිසියේ සේවයට එක්කරගෙන ඇත්තේ තනි ඇහෙන් වෙඩි තැබීමට ඇති සුදුසුකම පමණක් සලකා බලා දැයි අගෝස්තු 05 වන දින පැවැති පාර්ලිමේන්තුවේ කෝප් කමිටු රැස්වීමේදී දැඩි ලෙස ප්‍රශ්න කෙරිණි.
එක් ඇසක පවතින ස්ථීර ආබාධිත තත්ත්වයක් හේතුවෙන් අදාළ පුද්ගලයා යුධ හමුදා සේවයට පවා නුසුදුසු බව වෛද්‍යවරුන් විසින් තීරණය කර තිබියදීත්, එකී කරුණු නොසලකා ඔහුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අධ්යක්ෂවරයා ලෙස පත්කිරීමට උපකුලපති ටෙරන්ස් මධුජිත් ප්රමුඛ පාලනාධිකාරිය කටයුතු කර තිබේ.
මෙම අනීතික හා අවිධිමත් ක්‍රියාව පිළිබඳව කෝප් කමිටු සභාපතිවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ටෙරන්ස් මධුජිත් මහතා එය විහිළුවක් ලෙස සලකා සිනාසීමට පටන් ගෙන ඇත. ඊට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ කෝප් කමිටු සභාපතිවරයා තද ස්වරයෙන් අවධාරණය කර සිටියේ “මහත්තයෝ හිනාවෙන්න එපා! සීරියස් කිව්වෙ! අපිට කෝප් කමිටුව විදියට මේ වැඩේ සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න බැහැ” යනුවෙනි.
උපකුලපතිවරයාගේ මෙම වගකීම් විරහිත හැසිරීම හමුවේ කෝප් සභාපතිවරයා එල්ල කළ මෙම දැඩි අවවාදයත් සමග හෝ පාලනාධිකාරියේ පවතින මෙම අක්රමිකතාවලට නිසි විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රජාව අපේක්ෂා කරති.













