ශ්‍රී ලංකාවේ ඩිජිටල් අධ්‍යාපන ක්ෂේත්රයේ ප්රගමනය සහ නවීන තාක්ෂණය අධ්‍යාපනය සමඟ බද්ධ කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් සංවිධානය කරන ලද විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී (SLIDA) පැවැත්විණි.
ඉන්දියානු රජයේ පාසල් අධ්‍යාපන හා සාක්ෂරතා දෙපාර්තමේන්තුවේ හිටපු ලේකම් සංජේ කුමාර් මහතාගේ විශේෂ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් පැවැත්විණි. මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශාඛා නානායක්කාර මහත්මිය විසින් මෙහි මෙහෙයවීම් කටයුතු සිදු කරන ලදී.
ඩිජිටල් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේදී ලබාගත් අත්දැකීම් සහ ප්‍රායෝගික ක්‍රමවේද හුවමාරු කරගැනීම මෙහි ප්‍රධාන අරමුණ වූ අතර, අධ්‍යාපනය උදෙසා ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) භාවිතය, කෘත්‍රිම බුද්ධිය (AI) අධ්‍යාපන ක්‍රියාවලියට ඒකාබද්ධ කිරීම සහ ගුරුවරුන්ගේ ඩිජිටල් කුසලතා වර්ධනය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සහ SLIDA ආයතනය එක්ව සංවිධානය කළ මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රවීණයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














