රුපියල් ලක්ෂ හැටක් වටිනා විදේශීය නිෂ්පාදිත නීතිවිරෝධී දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මිනුවන්ගොඩ, දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කුලී රැකියාවල නිරත වන අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (08) අලුයම 04.00ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02ක් පරීක්ෂා කිරීමේදී එංගලන්තයේ නිෂ්පාදිත “ටොප් ගන්” වර්ගයේ දුම්වැටි 40,000ක් අඩංගු දුම්වැටි කාටූන් 200ක් සොයා ගැනීමට නිලධාරීන් සමත්ව තිබේ. සැකකරු මේ වන විට පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, එළඹෙන 19 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














