අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ප්‍රකාශ කර තිබේ.
මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814 ක් ඇතුළුව සමස්ත අයදුම්කරුවන් 372,310 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.
විභාගය සම්බන්ධයෙන් දැනගත යුතු ප්‍රධාන කරුණු:
ප්‍රවේශ පත්‍ර: පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන් වෙත ද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ ලිපිනයන් වෙත ද තැපැල් කර ඇති අතර, එය අස්ථානගත වී නම් විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන් නැවත භාගත කරගත හැක. විභාග ශාලාවට යාමට පෙර ප්‍රවේශ පත්‍රයේ අත්සන නිසි පරිදි සහතික කරවා ගැනීම අනිවාර්ය වේ.
අනන්‍යතාව තහවුරු කිරීම: විභාගය සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ වලංගු ගමන් බලපත්‍රය පමණක් පිළිගනු ලැබේ. ජාතික හැඳුනුම්පත නොමැති නම් තාවකාලික අනන්‍යතා පත්‍රයක් ලෙස පාසල් අයදුම්කරුවන් විදුහල්පති ලවා ද, පෞද්ගලික අයදුම්කරුවන් ග්‍රාම නිලධාරී ලවා ද ඡායාරූප දෙකක් සහතික කරවාගත යුතුය.
විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීම: විභාග කාලසටහන කෙරෙහි අවධානය යොමු කරමින් විභාගය ආරම්භ වීමට පැයකට පෙර මධ්‍යස්ථාන වෙත ළඟා වන ලෙස දන්වා ඇත.
තහනම් ද්‍රව්‍ය: ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන් හෝ බ්ලූටූත් ඇතුළු කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් විභාග ශාලාව තුළට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
විභාග නීති රීති උල්ලංඝනය කිරීම් සහ වංචාවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙසත්, හදිසි ආපදා තත්ත්වයක් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.













