ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගන්නා පුද්ගලයන් සමඟ පවත්වන සබඳතා හේතුවෙන් බාලවයස්කාර දැරියන් ගැබ් ගැනීමේ වැඩි ප්‍රවණතාවක් මතුව ඇති බව පොලීසිය අනාවරණය කරයි.
දෙමාපියන් විසින් බාලවයස්කාර දරුවන්ට ජංගම දුරකථන ලබාදීමෙන් පසු, ඔවුන් සමාජ මාධ්‍ය හරහා අතථ්‍ය සබඳතා ගොඩනඟා ගන්නා අතර, අවුරුදු 15 ත් 17 ත් අතර වයස් කාණ්ඩවල පසුවන දැරියන් එම පුද්ගලයන් හමුවීමට නිවෙස්වලින් බැහැරව ගොස් අපයෝජනයට ලක්වීමෙන් ගැබිනියන් බවට පත්වීමේ සිදුවීම් වාර්තා වේ.
දැරියන්ට අමතරව පිරිමි ළමුන් ද සමාජ මාධ්‍ය නොමනා ලෙස භාවිත කිරීම හේතුවෙන් විවිධ ලිංගික අපයෝජනයන්ට ලක්ව ඇති බව පොලීසිය පෙන්වා දෙයි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දත්තවලට අනුව, ගතවූ මාස කිහිපය තුළ යොවුන් වියේ සිදුවූ ගැබ්ගැනීම් පිළිබඳ පැමිණිලි 40ක්, ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි 101ක්, බරපතළ ලිංගික අපයෝජන පිළිබඳ පැමිණිලි 60ක් සහ ලිංගික අතවර සම්බන්ධයෙන් පැමිණිලි 213ක් ලැබී ඇත.
මෙය ශ්‍රී ලංකාව තුළ දැඩි ලෙස වර්ධනය වන සමාජ අර්බුදයක් ලෙස සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන අතර, දරුවන්ට ජංගම දුරකථන ලබාදීමේදී දෙමාපියන් දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවිය යුතු බව පොලීසිය අවධාරණය කරයි.














