ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැරේ චාරිත්‍ර අද (13) උදෑසන සුබ මොහොතින් ආරම්භ වන අතර, සම්ප්‍රදායානුකූල කප් සිටුවීමේ චාරිත්‍රය උදෑසන 6:17 ට යෙදී තිබූ සුබ මොහොතින් සිදු කිරීමට නියමිතව ඇත.
මෙම චාරිත්‍රයෙන් අනතුරුව නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන මහා දේවාල හතරෙහි අභ්‍යන්තර පෙරහැර අගෝස්තු 13 සිට 17 දක්වා දින පහක් පුරා පැවැත්වේ. පළමු කුඹල් පෙරහැර අගෝස්තු 18 වන දින වීදි සංචාරය කරන අතර එය අගෝස්තු 22 දක්වා ක්‍රියාත්මක වේ.
පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 23 වන දින ආරම්භ වන අතර, අවසන් මහා රන්දෝලි පෙරහැර අගෝස්තු 27 වන දින පැවැත්වීමට නියමිතය. දිය කැපීමේ මංගල්‍යය සහ දවල් පෙරහැර අගෝස්තු 28 වන දින සිදු කෙරෙන අතර, එදින සවස වාර්ෂික පෙරහැර සාර්ථකව අවසන් වූ බවට වන සංදේශය දියවඩන නිලමේතුමා විසින් මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමට නියමිතය.














