පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහජන සම්බන්ධතා නිලධාරී (PRO) නමින් තනතුරක් 90 දශකයට පෙර නොතිබූ අතර, වර්තමානය වන විටද නීත්‍යානුකූලව නොපවතී. එහෙත් දශක දෙකකට මදක් වැඩි කාලයක් එවැනි තනතුරක් ස්ථාපිත කර පවත්වාගෙන ගිය අතර, එකී තනතුරේ ආරම්භය සහ පැවැත්ම දේශපාලනික සහ පුද්ගලික සම්බන්ධතා මත පදනම් වූවක් බව කියැවේ.
වාර්තා වන තොරතුරුවලට අනුව, 1994 දේශපාලන පෙරළියෙන් පසුව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ ප්‍රසිද්ධ මහාචාර්යවරයෙකුට සහ ඔහුගේ සමීපතම කාන්තාවකට අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම වෙනුවෙන්, ඔහුගේ ගෝලයින් දෙදෙනෙකුට සැලකීමේ අරමුණින් මෙම තනතුර නිර්මාණය කර ඇත. එවකට පැවැති තනතුරුවලට සුදුසුකම් සපිරීමට නොහැකි වූ බැවින්, දේශපාලන බලය භාවිත කරමින් මෙම මහජන සම්බන්ධතා නිලධාරී (PRO) තනතුර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පමණක් ඇති කර ඉන් එක් අයෙකු ඊට පත්කළ බවත්, අනෙක් තැනැත්තා උපශාලාධිපතිවරයෙකු (Sub Warden) ලෙස පත්කළ බවත් සඳහන් වේ.
පසුව, ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (SAR) තනතුරු සඳහා බඳවා ගැනීමේදී PRO තනතුරේ සිටි නිලධාරියා එම තනතුරට උසස් කර, උපශාලාධිපති තනතුරේ සිටි පුද්ගලයා මහජන සම්බන්ධතා නිලධාරී තනතුරට පත්කර තිබේ.
විශ්වවිද්‍යාල පද්ධතියේ නොමැති තනතුරක සේවා කාලය සලකා බලමින් ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී තනතුරට උසස් කිරීමට එරෙහිව විධායක නිලධාරී සංගමය අභියාචනාධිකරණයේ නඩු පවා පවරා තිබුණි. එහෙත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) අධිකරණය හමුවේ අදාළ සේවා කාලය පිළිගන්නා බව ප්‍රකාශ කිරීම හේතුවෙන් එම රිට් පෙත්සම නිෂේධ විය. ඒ අනුව එකී නිලධාරියා SAR ලෙස ස්ථීර වී පසුව විශ්‍රාම ගොස් ඇත.
අනෙක් නිලධාරියා PRO තනතුරේ රැඳී සිටියදී එම තනතුරේ යෝග්‍යතාව පිළිබඳ බරපතල ගැටලු මතුවූ අතර, පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහජන සම්බන්ධතා නිලධාරී තනතුර “එම තනතුර දරන්නාට පමණක් අනන්‍ය වන තනතුරක්” (Personal to holder) බවට පත් කිරීමට පියවර ගන්නා ලදි. ඒ අනුව එම තනතුර අවසන් වරට දැරූ පුද්ගලයාගේ නික්ම යාමෙන් පසුව එකී තනතුර සම්පූර්ණයෙන්ම අහෝසි වී ගොස් තිබෙන බව පරිපාලන හා නීතිමය යථාර්ථයයි.
දේශපාලන පසුබිම මත නිර්මාණය වූ මෙම තනතුරේ අතීත කතාව එසේ වන අතර, දැනට නෛතිකව නොපවතින තනතුරක් සඳහා වැඩ බලන පත්කිරීම් සිදුකිරීමට හෝ එවැනි පත්කිරීමක් වසර ගණනාවක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පෙන්වා දෙනු ලැබේ. යම් හෙයකින් එවැනි තනතුරක් සත්‍ය වශයෙන්ම පවතිනුයේ නම්, කළ යුත්තේ අබේවික්‍රම හෝ වෙනත් සුදුසු පුද්ගලයෙකු නිසි පටිපාටිය අනුගමනය කරමින් ඊට පත්කිරීම බවද සඳහන් වේ.














