නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ වාග් චිකිත්සක වෘත්තිකයින් 52 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සහ විකිරණ ශිල්පී අනුස්ථාපන හා සමායෝජන පුහුණුව සඳහා 64 දෙනෙකු බඳවා ගැනීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) සිදු කෙරේ.
ඒ අනුව, අදාළ පත්වීම් ප්‍රදානය සහ දැනුවත් කිරීමේ වැඩසටහන අද පෙරවරු 11.00ට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ නව ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. රෝහල් පද්ධතියේ පවතින කාර්ය මණ්ඩල හිඟය අවම කරමින් රෝගී සත්කාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සහ පුහුණු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් මගින් ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම මෙම නව බඳවා ගැනීම්වල අරමුණ වී තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ පසුගිය වසර දෙකකට ආසන්න කාලය තුළ සෞඛ්‍ය වෘත්තීය කාණ්ඩ රැසක් සඳහා නව බඳවා ගැනීම් සහ පුහුණුව සඳහා බඳවා ගැනීම් සිදු කර ඇති අතර, මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය මානව සම්පත ක්‍රමානුකූලව සංවර්ධනය කිරීම අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණක් වේ.














