විශ්වවිද්‍යාලයක ඉහළම පරිපාලන ඒකකය වන පාලක සභාවේ රැස්වීම් වාර අවම වශයෙන් 10 ක් වසරකට පැවැත්විය යුතුය. සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද යෙදෙන අප්‍රේල් මාසයේදී සහ නත්තල් නිවාඩුව මෙන්ම නව වසර උදාවන දෙසැම්බර් මාසයේදී සාමාන්‍යයෙන් පාලක සභා රැස්වීම් නොපවත්වන අතර, ඉතිරි මාස 10 තුළ රැස්වීම් කැඳවීම සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වේ.
එහෙත් පසුගිය ජූලි මාසයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව කැඳවීමට එහි සභාපතිවරයා වන උපකුලපති ටෙරන්ස් මධුජිත් මහතා කටයුතු කර නැත. පේරාදෙණිය විශ්වවිද්‍යාලය අපකීර්තියට පත් කරමින් සිදුවන සමාජ මාධ්‍ය ප්‍රචාරයන්ට එරෙහිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) මගින් උසස් මට්ටමේ (High Power) පරීක්ෂණයක් ආරම්භ කරන තෙක් පාලක සභාව නොකැඳවන බව ඊට හේතුව ලෙස ඔහු ප්‍රකාශ කර ඇති බව පැවසෙයි.
මේ අතර, කෝප් කමිටුවේදී සහ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ප්‍රකාශ සිදු කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය අපකීර්තියට පත්කිරීම සම්බන්ධයෙන් උපකුලපති මධුජිත් මහතාට එරෙහිව පොලිසියට පැමිණිලි කිරීමට විශ්වවිද්‍යාල සේවකයින් පිරිසක් සූදානම් වන බවද වාර්තා වේ.














