රෝහලේදී මියගිය කාන්තාවකගේ දේහය නිවසට රැගෙන ඒමටත් පෙර, කිසිවෙකු නොමැති අවස්ථාවක එම නිවසට ඇතුළු වී වටිනා භාණ්ඩ සොරාගෙන පලා යාමට උත්සාහ කළ පිරිසක් ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාරදීමේ සිද්ධියක් මිල්ලනිය, රන්පොකුණ ප්‍රදේශයෙන් වාර්‌තා වේ.
රන්පොකුණ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ‘මී උණ’ රෝගය වැළඳී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇයගේ අභාවයෙන් පසු නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක සැකකරුවන් එහි ඇතුළු වී ඇති අතර, දේහය නිවසට රැගෙන ඒමටත් පෙර මෙම සොරකම සිදුව ඇති බව වාර්‌තා වේ.
නිවසේ තිබූ වටිනා භාණ්ඩ රැගෙන පලා යාමට උත්සාහ කළ අවස්ථාවේ ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සැකකරුවන් වටකර අල්ලාගෙන තිබේ. අනතුරුව සැකකරුවන් සහ සොරාගත් බව කියන භාණ්ඩ හොරණ පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්‌ශන ක්‍රියාත්මකය.














