කොඩ්බේ ධීවර වරාය විසින් නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්රීවරියකගේ ධීවර යාත්රා සහ වාහන සඳහා ණය පදනම මත ඩීසල් ලබාදී තිබුණද, ඒ වෙනුවෙන් ලැබිය යුතු රුපියල් ලක්ෂ 14කට ආසන්න මුදල මෙතෙක් අයකරගෙන නොමැති බව ජාතික විගණන කාර්යාලයේ වාර්තාවකින් අනාවරණය වී තිබේ. මෙම තොරතුරු ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ අතර හැඳල දික්ඕවිට ධීවර වරායේ උතුරු පර්යන්තයේ භූගත ඉන්ධන බට සවිකිරීමේදී සිදුවූ ඉන්ධන කාන්දුවකින් ඇතිවූ පාඩුවද අදාළ ආයතනයෙන් මෙතෙක් අයකරගෙන නොමැති බව විගණන වාර්තාව පෙන්වා දෙයි. එම කාන්දුව හේතුවෙන් ඉන්ධන ලීටර් 2,700ක් පමණ නාස්ති වී ඇති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කර තිබේ.
අදාළ භූගත ඉන්ධන බට පද්ධතිය 2019 වසරේදී සවිකර ඇති බවද වාර්තාවේ දැක්වේ. ණයට ලබාදුන් ඉන්ධන වෙනුවෙන් ලැබිය යුතු මුදල් සහ ඉන්ධන කාන්දුවෙන් සිදුවූ පාඩුව අයකර ගැනීමට මෙතෙක් කටයුතු නොකිරීම සම්බන්ධයෙන් විගණන වාර්තාව මඟින් අවධානය යොමු කර තිබේ.













