ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා සඳහා ඕමාන ව්‍යාපාරිකයන් යොමු කිරීම සහ දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද (13) මුදල් අමාත්‍යාංශයේදී පවත්වා තිබේ. ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති Ahmed Ali Said Al Rashidi, ඕමානයේ විදේශ වෙළෙඳ හා ජාත්‍යන්තර සහයෝගීතා උපදේශක Pankej Khimji සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්‌ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් මෙම හමුවට එක්ව තිබේ.
වත්මන් රජයේ ආර්‌ථික වැඩපිළිවෙළ පිළිබඳ පැසසුම් පළ කළ ඕමාන තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳ එරට ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කර ඔවුන් මෙරට ආයෝජන සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කර ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්‌මාන්තයට අදාළ ආයෝජන කෙරෙහි ඕමාන ව්‍යාපාරිකයන් අතර වැඩි උනන්දුවක් පවතින බව Pankej Khimji මහතා සඳහන් කර තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින් ආචාර්‌ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ රජය අනුගමනය කරන මූල්‍ය විනය සහ විනිවිදභාවය හේතුවෙන් ජාත්‍යන්තර ආයෝජකයන් තුළ ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය සහ ආයෝජන උනන්දුව වර්‌ධනය වෙමින් පවතින බවයි. ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ආර්‌ථික, වෙළෙඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන්ද හමුවේදී අදහස් හුවමාරු කරගෙන තිබේ.













