එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් රජය තවදුරටත් සොයා බැලිය යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී කතෝලික සභාව සමඟ අද (13) පැවති සාකච්ඡාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
මෙම සාකච්ඡාවේදී රජයට පවරාගත් කතෝලික පාසල්වල පරිපාලන ගැටලු, කතෝලික ධර්මය ඉගැන්වීම සඳහා අවශ්‍ය ගුරු කාර්ය මණ්ඩලය සම්බන්ධ ක්‍රමවේදයක් සකස් කිරීම සහ ගුරු වෘත්තිය සඳහා කතෝලික පූජක සොහොයුරියන් හා පියතුමන්ලා බඳවා ගැනීමේ වත්මන් ප්‍රගතිය පිළිබඳවද අවධානය යොමු කර තිබේ. රජයට පවරාගත් පාසල්වල කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.
වසරකට තෙවරක් කතෝලික සභාව සමඟ මෙවැනි සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයට සිය ස්තූතිය පළ කරන බවද කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ. කිසිදු භේදයකින් තොරව සියලු සිසුන්ට තම ආගම ඉගෙනගැනීමේ අවස්ථාව තහවුරු කිරීම සිය අභිලාෂය බවත්, අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින ගැටලු නිරාකරණය කළ යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.













