ආචාර්ය ඉරෝමි ආරියරත්නගේ රිට් පෙත්සමට අදාළ අභියාචනාධිකරණ තීන්දුව මගින් 2022 වසරේ සිට ඇය සේවයට බඳවාගන්නා ලෙස නියෝග කර තිබීම හේතුවෙන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තවත් රුපියල් කෝටි ගණනක නිෂ්කාර්ය වැය ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇති බව වාර්තා වේ.
අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ පෙත්සම්කාරිය 2022 සැප්තැම්බර් මස 22 වන දින සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය I ශ්‍රේණියට පත් කිරීමටය. ඒ අනුව අදාළ තැනැත්තිය සේවයට බඳවාගැනීමෙන් පසුව, 2022 වසරේ සිට මේ දක්වා කාලය සඳහා ඇයට හිඟ වැටුප් ගෙවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සිදුවේ. එලෙස දළ වශයෙන් වසර 4 කට අදාළව මාස 48 ක් වෙනුවෙන් හිඟ වැටුප් සහ දීමනා ඇයට හිමිවීමට නියමිතය.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකුගේ මාසික වැටුප සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ තුන ඉක්මවන අතර, එය ලක්ෂ තුන බැගින් ගණනය කළද ඇයට ගෙවීමට සිදුවන මුදල රුපියල් එක්කෝටි හතළිස් හතර ලක්ෂයකට ආසන්න වේ. මෙම මාස 48 ක කාලය තුළ ඇයගෙන් කිසිදු සේවයක් ලබාගැනීමකින් තොරව මෙම මුදල ගෙවීමට සිදුවීම හේතුවෙන්, විගණන අංශ මගින් එය අනාගතයේදී නිෂ්කාර්ය වැයක් ලෙස හඳුනාගැනීමට වැඩි ඉඩක් පවතී.
මීට සමානව 2016 වසරේ පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවකට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේ ලබාදුන් තීන්දුවක් අනුව, විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයා නැවත සේවයේ පිහිටුවා රුපියල් ලක්ෂ 56 ක හිඟ වැටුප් සහ දීමනා ගෙවීම සම්බන්ධයෙන්ද විගණන අංශ සහ කෝප් කමිටුව ප්‍රශ්න කර තිබුණි. එකී නිෂ්කාර්ය වැය බර මගින් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් මේ වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණයක්ද පවත්වයි. එසේම එකී පාඩුව අදාළ තීරණය ගත් පාලක සභාව, මූලික පරීක්ෂණ කමිටුව සහ නීති නිලධාරියාගෙන් අය කරගත යුතු බවටද විගණන නිර්දේශ පවතී.
එම පූර්වාදර්ශය අනුව රුපියල් කෝටි එකහමාරකට ආසන්න මෙම හිඟ වැටුප් ගෙවීම මගින්ද පේරාදෙණිය බලධාරීන් නැවතත් එවැනිම නෛතික හා පරිපාලනමය අර්බුදයකට පත්වීමේ ඉඩක් ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත් අභියාචනාධිකරණ තීරණය ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වන බැවින්, පේරාදෙණිය විශ්වවිද්‍යාල බලධාරීන් මේ වන විට බරපතල උභතෝකෝටිකයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.















