මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ වෛද්‍යවරුන් විදේශගත වීම පාලනය කිරීම අරමුණු කරගනිමින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් 2027 අයවැය සඳහා වූ විශේෂ යෝජනා මාලාවක් මුදල් අමාත්‍යාංශය වෙත නිල වශයෙන් ඉදිරිපත් කර ඇත.
මෙම යෝජනා යටතේ මෙතෙක් ගෙවීම් සිදු නොකළ 1/3 ක හිඟ අමතර සේවා (Extra Duty – ED) දීමනාව සහ රජයේ නිවාඩු දින දීමනා සම්පූර්ණයෙන් ගෙවා සමුච්චිත හිඟ ගෙවීම් වහාම පියවන ලෙස එම සංගමය දැඩි ලෙස අවධාරණය කර සිටියි. වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම සඳහා මූලික වැටුපෙන් 15% ක අවදානම් දීමනාවක් හඳුන්වා දීම, මාසිකව පැය 120 ක ස්ථාවර අමතර සේවා දීමනාවක් වැටුප් ව්‍යුහයට ඇතුළත් කිරීම ඇතුළු ප්‍රතිපත්තිමය යෝජනා රැසක් මෙමඟින් ඉදිරිපත් කර තිබේ.
















