නීතිවිරෝධීව දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ කාන්තාවක් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (14) අත්අඩංගුවට ගෙන තිබේ.
සෞදි අරාබියේ ගෘහ සේවයේ නියුතුව සිට පැමිණි මහනුවර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි මෙම කාන්තාව අද උදෑසන 6.15ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” ඔස්සේ අදාළ දුම්වැටි තොගය රැගෙන යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඇය විසින් ගමන් මළු 04ක් තුළ සාජා නුවරින් මිලදී ගෙන රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 35,200ක් (කාටූන් 176ක්) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් පනස් දෙලක්ෂ අසූ දහසකට ආසන්න වේ. සිද්ධිය සම්බන්ධයෙන් රේගු පරීක්ෂණයක් සිදුකර දුම්වැටි තොගය රාජසන්තක කර ඇති අතර, ඇයට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියෝග කර ඇත.














