වේයන්ගොඩ නයිවල මාර්ගයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් තරුණයෙකු සහ මහලු කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. වේයන්ගොඩ හීන්දෙනිය ප්‍රදේශයේ පදිංචි පවුලක් සිය වැඩිමහල් දියණියගේ විවාහ උත්සවය අවසන් කර ආපසු නිවස බලා ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත. ඔවුන් ගමන් ගත් වෑන් රථය පාලනයෙන් ගිලිහී මාර්ගය අසල වූ විදුලි රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර එම අවස්ථාවේදී වෑන් රථයේ නව දෙනෙකු ගමන් කරමින් සිට තිබේ. අනතුරින් පසු තුවාල ලැබූ සියලුම දෙනා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ ද, වෑන් රථය පැදවූ මනාලියගේ බාල සොහොයුරා වන විසි එක් හැවිරිදි නවෝද් චතුරංග සහ එම පවුලේ අසූ හැවිරිදි මිත්තණිය වන ඩබ්ලිව්. ඒ. වික්‍රමාරච්චි යන අය මිය ගොස් ඇත. ඉතිරි හත් දෙනා තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.













