ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවන්ට අනුව, ඊයේ (13) දින දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,346ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 68කි. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය ජූලි මාසයේදී වන අතර, එහිදී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 29,968කි. මේ අතර, අගෝස්තු මාසයේ ඊයේ දින දක්වා ගත වූ දින 13 තුළ පමණක් නව ඩෙංගු රෝගීන් 6,004ක් වාර්තා වී ඇත. පළාත් මට්ටමින් ගත් කල, වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි (රෝගීන් 48,383ක්). මීට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 13,479ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,160ක් ලෙසද වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.
















