කුඩා වෙළෙඳපොළක් තුළ භාණ්ඩ හා සේවාවන්හි පාලනය හුදු තරගකාරීත්වයක් මත පමණක් අපේක්ෂා කළ නොහැකි බැවින් ශක්තිමත් මිල පාලන යාන්ත්‍රණයක් රජය සතුවිය යුතු බවත්, ඒ සඳහා ලංකා සතොස සහ සමුපකාර ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කර ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස යොදාගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දී තිබේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන ප්‍රගතිය සමාලෝචනය සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවට ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
මෙම සාකච්ඡාවේදී ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ පාරිභෝගික අයිතීන් සුරැකීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල කාර්යසාධනය පුළුල් ලෙස විමසා බැලුණු අතර, ගොවීන්ට සහනදායී පදනමින් වියළන යන්ත්‍ර ලබා දීම, දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි තොග බෙදා හැරීමේ මධ්‍යස්ථාන 9ක් ස්ථාපිත කිරීම සහ ග්‍රාමීය මට්ටමින් සහල් සැකසුම් මධ්‍යස්ථාන ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
තවද, තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් නව නිෂ්පාදන සමූපකාර සමිති 34ක් ලියාපදිංචි කර ඇති බවත්, රට තුළ ඇති සමූපකාර, මෙගා කෝප් සිටි සහ කෝප් සිටි 2100ක් පමණ වන ජාලය හරහා වෙළෙඳපොළ කොටසක් වැඩිදියුණු කර ගැනීම සඳහා පනතක් සම්පාදනය කරමින් පවතින බවත් සඳහන් විය. ත්‍රිපෝෂ සමාගමේ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 5000ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, ලංකා ත්‍රිපෝෂ ආයතනය වෙත ISO තත්ත්ව සහතිකයද හිමිවී තිබේ.
පාරිභෝගික සේවා අධිකාරිය හරහා දුරගමන් බස් රථ සහ පෞද්ගලික රෝහල්වල ආපනශාලා පරීක්ෂා කිරීම මෙන්ම පොලිතින් භාවිතය මිලියන 16 දක්වා අඩු කර ගැනීමට හැකි වී ඇති බවද මෙහිදී අනාවරණය විය. අමාත්‍ය වසන්ත සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආර්.එම්. ජයවර්ධන සහ උපාලි සමරසිංහ යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















