14 වැනි “ආරක්ෂක සේවා” ක්‍රීඩා උළෙල 2026-2027 හි විවෘත කිරීමේ උත්සවය වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා වේව් ඇන්ඩ් ලේක් (Wave N’ Lake) උත්සව ශාලාවේදී අගෝස්තු 14 වන දින පැවැත්විණි. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, උත්සව ස්ථානය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
ශ්‍රී ලංකා යුද, නාවික සහ ගුවන් හමුදාවන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන මෙම ක්‍රීඩා උළෙල ක්‍රීඩා විනයානුකූලභාවය, සුහදත්වය සහ විශිෂ්ටත්වය නංවාලීමේ අරමුණින් ක්‍රීඩා විෂයයන් 39ක් යටතේ පැවැත්වේ. මෙම වසරේ ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දරනු ලබන අතර, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, හමුදා සාමාජිකයන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ත්‍රිවිධ හමුදා පිරිස් වෙත තම ක්‍රීඩා කුසලතා ප්‍රදර්ශනය කිරීමට සහ ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් සාර්ථකත්වයන් අත්කර ගැනීමට මෙම ක්‍රීඩා උළෙල මහඟු වේදිකාවක් සපයයි.
















