රටේ භෞමික අඛණ්ඩතාව සහ සෛරීත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ජීවිත හා ශරීර අවයව පූජා කළ රණවිරුවන්ට දැක්විය හැකි උපරිම කෙළෙහිගුණය දැක්විය යුතු බවත්, වත්මන් රජය ආබාධිත රණවිරුවන්ගේ ගැටලු විසඳීමට කටයුතු කිරීමේදී දුර්වල මට්ටමක පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක කාර්යාලයේදී ආබාධිත රණවිරුවන්ට සිදුවී ඇති අසාධාරණය පිළිබඳව පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
2014.02.28 දිනැති චක්‍රලේඛයක් අනුව ආබාධිත රණවිරුවන් 2014.03.01 දිනට පෙර සහ පසු ලෙස කොටස් දෙකකට වෙන් කර ඇති අතර, 2014.03.01ට පසු විශ්‍රාම ගිය 500කට ආසන්න පිරිසකට හිමිවිය යුතු දීමනා හා වැටුප් වර්ධක නොලැබී යාම බරපතළ අසාධාරණයකි. එකම සේවයක යෙදී සිටි ආබාධිත රණවිරුවන් මෙසේ කොටස් දෙකකට කඩා දෙවිදියකට සැලකීම ඔවුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.
වත්මන් රජය ගත් අමාත්‍ය මණ්ඩල තීරණවලින්ද මෙම ආබාධිත රණවිරු කොට්ඨාසයට නිසි සාධාරණයක් ඉටු වී නැති බැවින්, වහාම මෙම අඩුපාඩුව නිවැරදි කර ඔවුන්ට හිමි විය යුතු හිඟ වැටුප් සහ දීමනා ලබා දීමට ජනාධිපතිවරයා සහ රජය මැදිහත් විය යුතු බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














