ජපානයේ චිබා ප්‍රාන්තයේ, නගරෙයාමා නගරයේ නිවසකදී ශ්‍රී ලාංකික තරුණයෙකු “පිහි ඇනුමකින්” ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස මිය ගොස් ඇත්තේ, ප්‍රවීන් ඉසුරු නමැති 21 හැවිරිදි තරුණයෙකි. මෙම තරුණයා ඝාතනය කිරීමට උත්සහ කිරීමේ චෝදනාව මත තවත් ශ්‍රී ලාංකිකයෙකු අගෝස්තු 11 වන දින එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි, ජපානයේ NHK One වාර්තා කළේය.
NHK One වාර්තා කරන පරිදි, 11 වන දා පෙරවරු 10ට පමණ, “මගේ යාළුවෙකුට පිහියෙන් ඇනලා” යනුවෙන් නගරෙයාමා නගරයේ නිවසකින් හදිසි ඇමතුම් අංකය වෙත දුරකතන ඇමතුමක් ලැබී තිබේ. අනතුරුව පොලිසිය එම ස්ථානයට පැමිණ ඇති අතර අදාළ නිවසේ පදිංචිව සිටි 21 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු වන ජයකොඩි ආරච්චිලාගේ ප්‍රවීන් ඉසුරු, උදරයෙන් ලේ වහනය වෙමින් බිම වැටී සිටියදී සොයාගෙන ඇත. ඔහු රෝහලගත කිරීමට පියවර ගෙන තිබුණ ද එහිදී ඔහු මියගොස් ඇති බව ප්‍රකාශ කර ඇතැයි NHK One සිය වාර්තාවේ සඳහන් කර තිබේ.
සිද්ධිය සිදු වූ ස්ථානයේ සිටි 18 හැවිරිදි ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකුගෙන් පොලිසිය ප්‍රශ්න කළ අවස්ථාවේදී, ඔහු පිහියකින් අනෙක් තරුණයාට ඇන ඇති බව පිළිගෙන ඇත. ඒ අනුව, මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව මත පොලිසිය ඔහු එම ස්ථානයේදී ම අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පවසා ඇත්තේ, ඔවුන් දෙදෙනා එකිනෙකා හඳුනන අය වන අතර, සැකකරු ප්‍රශ්න කිරීමේදී චෝදනා පිළිගෙන ඇති බවයි.














