වෙනසක් අපේක්ෂාවෙන් ලොව ප්රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ සමාගමක රැකියාවෙන් ඉවත් වී මෙරට ප්‍රධාන පෙළේ තොරතුරු තාක්ෂණ ආයතනයකට සම්බන්ධ වූ රෙහාන් නම් තරුණයාට, නව රැකියාවට සම්බන්ධ වී සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ රැකියාව අහිමි වීම නිසා දැඩි මානසික කම්පනයකට මුහුණ දීමට සිදුව තිබේ.
සමාගමේ සභාපති තීරණයක් මත පරීක්ෂණ කාලයේ (Probation) සිටින සියලුම සේවකයින් ඉවත් කිරීමට ගත් තීරණයත් සමඟ, නීත්‍යානුකූලව කිසිවක් කළ නොහැකි වූ ඔහුට රැකියාවෙන් ඉවත් වීමට සිදු විය. මෙම හදිසි කම්පනය දරාගත නොහැකි වීම නිසා ඔහුගේ ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වය උග්‍ර වී රෝහල්ගත වීමට සිදු වූ අතර, එහිදී ඔහුට දිනකට වැඩි කාලයක් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු විය.
වර්තමානයේ ගෝලීය වශයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ සිදුවන රැකියා සහ වේතන කප්පාදු කිරීම්, කොවිඩ් වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික වෙනස්කම් සහ කෘත්‍රිම බුද්ධියේ (AI) පැමිණීම හේතුවෙන් මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් මතුව තිබේ. මෙම අත්දැකීමෙන් පසු රෙහාන් තම ජීවන රටාව වෙනස් කර ගනිමින්, ඉතිරි කරගත් මුදලින් ත්‍රිරෝද රථයක් මිලදී ගෙන ප්‍රවාහන සේවාවක (Uber හෝ PickMe) නිරත වීමට අපේක්ෂා කරන බව පවසයි.














