චීනයේ පවතින දැඩි ස්ත්‍රී-පුරුෂ අසමතුලිතතාව සහ ‘එක දරුවෙක්’ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වී ඇති ගැටලු හේතුවෙන්, සහකාරියක සොයා ගැනීමට නොහැකිව අසරණ වන 37 හැවිරිදි වැන්ග් ෂුවාං වැනි තනිවුණු චීන පිරිමින් ව්‍යාජ මංගල සේවා ආයතනවල උගුල්වලට හසුවීමේ ප්‍රවණතාවක් මතුව තිබේ.
චීනයේ කාන්තාවන්ට වඩා පිරිමි ජනගහනය මිලියන 30කට අධික ප්‍රමාණයකින් වැඩි වී ඇති අතර, කුඩා නගරවල සහ ගම්මානවල පිරිමින්ට මෝටර් රථ, නිවාස සහ විශාල වශයෙන් ‘මනාලියගේ මිල’ (Bride price) ගෙවීමට සිදුවීම බරපතල අභියෝගයක් වී ඇත. මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගන්නා සමහර මංගල සේවා ආයතන, ඉක්මනින් සහකාරියක ලබා දෙන බව පවසමින් පිරිමින් මුදලට රවටා ව්‍යාජ විවාහ සූදානම් කරයි.
එලෙස ආකර්ෂණය වූ වැන්ග් වෙත ද තමන් අපේක්ෂා කළ ගුණාංග ඇති බව පවසමින් කාන්තාවක් හඳුන්වා දී ඇති නමුත්, විවාහයෙන් පසු ඇයගේ වයස, අතීත විවාහ, දරුවන් මෙන්ම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පවසා තිබූ සියල්ල බොරුවක් බව හෙළි වී තිබේ. මේ නිසා තම ජීවිතය සහ මුදල් අහිමි වී දැඩි මානසික පීඩාවකට පත්ව සිටින වැන්ග් මෙන් ම, මෙම ක්ෂේත්‍රයේ සිදුවන නීතිවිරෝධී ක්‍රියා සහ අවුල් සහගත තත්ත්වයන් පිළිබඳව රාජ්‍ය මාධ්‍යද මෑතකදී අනාවරණය කර ඇත.














