ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සංචාරක නගරයක් වන ඇල්ල ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය තවදුරටත් නංවාලීමේ අරමුණින්, මාර්ග ඇතුළු මූලික යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 1000කට අධික දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරමින් සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාවට නංවා තිබේ. වසර විසිහයකට අධික කාලයක් නිසි අලුත්වැඩියාවකින් තොරව පැවති, සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් වූ ඇල්ල ‘වෝටර්ෆෝල් රෝඩ්’ මාර්ගය කොන්ක්‍රීට් යොදා නවීකරණය කර ජනතා අයිතියට පත් කිරීමත් සමඟ මෙම පුළුල් සංවර්ධන වැඩපිළිවෙළ ආරම්භ වී ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 500ක පිරිවැයකින් දුන්හිඳ–බල්ලකැටුව–දෙමෝදර මාර්ගයත්, රුපියල් මිලියන 370ක පිරිවැයකින් ඇල්ල–පස්සර මාර්ගයත් මෙන්ම කන්දෙකුඹුර සහ පියරපන්දොව යන මාර්ග සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට වේගයෙන් ක්‍රියාත්මක වේ. ඊට අමතරව, නගරයට ප්‍රවේශ වීම සඳහා නව උමං මාර්ගයක් ඉදිකිරීමටත්, නගර මධ්‍යයේ පිහිටි අක්කර 2.5ක භූමියක නාගරික සංවර්ධන අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ නවීන සංචාරක සංකීර්ණයක්, වෙළෙඳ මධ්‍යස්ථානයක් සහ ප්‍රදර්ශනාගාර පරිශ්‍රයක් ඉදි කිරීමටත් නියමිතව ඇත.
ඇල්ල නගරයේ පවතින ප්‍රධාන පාරිසරික ගැටලුවක් වන කසළ කන්ද ඉදිරි මාස එකත් දෙකත් අතර කාලය තුළ සම්පූර්ණයෙන් ඉවත් කර එම ප්‍රදේශය අලංකාර කිරීමටත්, වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයේ නව ඩම්ප් යාර්ඩ් එකක් ඉදිකිරීමටත් බලධාරීන් පියවර ගෙන තිබේ. මෙම පුළුල් සංවර්ධන ක්‍රියාමාර්ග හරහා කලාපයේ ආර්ථික හා සංචාරක විභවය ඉහළ නංවාලීමට හැකි වනු ඇති අතර, එය දිවයිනේ සමස්ත සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට මෙන්ම ප්‍රාදේශීය සංවර්ධනයට ප්‍රබල පිටුබලයක් වනු ඇතැයි අපේක්ෂා කෙේ.
















