මෙරට මිහිදන් වීමට තිබුණු පැරැණි සෙලියුලොයිඩ් සිනමා පට 900කට ආසන්න සංඛ්‍යාවක් ඩිජිටල්කරණයට පරිවර්ථනය කිරීම සඳහා ‘මි:මි 35 සෙලියුලොයිඩ් සිනමා පට ඩිජිටයිස් යන්ත්‍රය’ නිෂ්පාදනය කළ ලලිත් පාලිත ද සිල්වා මහතා මේ වන විට හැටහත් වන විය පසු කරමින් ජීවත්වීම සඳහා දැඩි අරගලයක නිරතව සිටී. නූතන ඩිජිටල් තාක්ෂණය පැමිණීමට පෙර භාවිත කළ සෙලියුලොයිඩ් සිනමා පට කාලයත් සමඟ දිරාපත් වීම සහ ගිනිගැනීමේ අවදානම මතුවන අතර, එවැනි දුගඳ නිකුත් වන නරක් වූ සිනමා පට අතරේ තම ජීවිතයෙන් අඩකටත් වැඩි කාලයක් ඔහු සිනමාව වෙනුවෙන් කැප කර ඇත.














