රථවාහන වැරදි සම්බන්ධයෙන් වාහන පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීන් පඳුරු අස්සේ සැඟවී හෝ හුදෙකලා ස්ථානවල සිට එම කටයුතු සිදු නොකළ යුතු බව රථවාහන සහ මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ඒ. සේනාධීර මහතා අවධාරණය කර තිබේ. නිලධාරීන් සිය රාජකාරිය විවෘතව සහ වෘත්තීය මට්ටමින් ඉටු කළ යුතු අතර, වාහනයක් නතර කළ යුත්තේ අනෙක් රියදුරන්ට පැහැදිලිව පෙනෙන බස් නැවතුම්පොළක හෝ වෙනත් විවෘත ස්ථානයක බව ඔහු පෙන්වා දෙයි.
රියදුරන්ගෙන් මුදල් ලබාගැනීමට උත්සාහ කරන බවට සැකයක් මතු වන ආකාරයෙන් අත්තනෝමතික ලෙස රථවාහන නැවැත්වීමෙන් වැළකිය යුතු අතර, අවශ්‍ය අවස්ථාවලදී වාහනයක් ලුහුබැඳ යාමට අවසර ඇති මුත් එහිදී අනන්‍යතාවය සහ ලුහුබැඳීමට හේතුව පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතුය. රථවාහන වරදක් සඳහා පොලිස් නිලධාරියාට සෘජුව මුදල් ගෙවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, දඩ මුදල් ගෙවීම සඳහා තැපැල් කාර්යාල ඇතුළු නීත්‍යානුකූල ක්‍රමවේද පමණක් අනුගමනය කළ යුතු බවත් රියදුරන්ට විශේෂ දැනුම්දීමක් කරමින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.














