ශ්‍යාමෝපාලි වනවාස නිකායේ මහනායක ධූරයෙන් පිදුම් ලැබූ අතිපූජ්‍ය මහකන්දේ රතනපාල ස්වාමීන්වහන්සේ උදෙසා පැවැති අභිනන්දන උත්සවයට එක්වෙමින්, රට නවීකරණය කරමින් ඉදිරියට ගෙන යන ආණ්ඩුවේ වැඩපිළිවෙළට මහා සංඝරත්නයෙන් ලැබෙන ආධ්‍යාත්මික මඟපෙන්වීම අත්‍යවශ්‍ය බලවේගයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය. දශක හයකට ආසන්න කාලයක් පුරා වනවාස සම්ප්‍රදාය හා ශාසනික අභිවෘද්ධිය උදෙසා උන්වහන්සේ ඉටු කළ අසමසම මෙහෙවර ඇගයීමට ලක්කළ අග්‍රාමාත්‍යවරිය, රට ගොඩනඟන ගමනේදී වනවාසී භික්ෂූන් වහන්සේලාගේ සරල බව, සංයමය සහ විනය සමාජයට ප්‍රබල ආදර්ශයක් සපයන බව ද පෙන්වා දුන්නාය.
ප්‍රවාහන, අධ්‍යාපන සහ සෞඛ්‍ය ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම නවීකරණය කරමින් ජනතාවට වඩාත් යහපත් ජීවිතයක් උරුම කර දීමට රජය දරන උත්සාහය සාර්ථක කර ගැනීමට නම් ආර්ථික දියුණුවට අමතරව උසස් මානුෂීය ගුණාංග වර්ධනය විය යුතු බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය. මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි අනුනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මෙන්ම විපක්ෂ නායකවරයා ඇතුළු දේශපාලන නායකත්වයන්ගේ ද සහභාගීත්වයෙන් පැවැති මෙම මහෝත්සවයේදී, නවීන තාක්ෂණය හා යටිතල පහසුකම් නිවැරදි දිශානතියකට යොමු කිරීමෙහිලා ආගමික ශාසනික පරිසරයෙන් ලැබෙන පදනම පිළිබඳව දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි.
රටක් අලුත් කිරීමේ සහ වගකීම් සහගත සමාජයක් ගොඩනැඟීමේ කාර්යභාරය ආණ්ඩුවකට පමණක් තනිව ඉටු කළ නොහැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, ගොඩනැගෙන නව පහසුකම් සහ පද්ධති ආරක්ෂා කරගනිමින් අනාගත පරපුර වෙත භාරදීම සමස්ත ජාතියේම වගකීමක් බව ප්‍රකාශ කළාය. පවතින සමාජයීය හා ආර්ථික පරිවර්තනය හමුවේ ආධ්‍යාත්මික සංවර්ධනය සහ භෞතික ප්‍රගතිය එකිනෙකට බද්ධ කරමින් ඉදිරියට යාමට රජය අපේක්ෂා කරන අතර, මෙම ප්‍රවේශය ඉදිරි ජාතික ප්‍රතිපත්ති නිර්මාණයේදී ද තීරණාත්මක සාධකයක් වනු ඇතැයි විශ්වාස කෙරේ.
















