ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකින් අනාවරණය වී ඇත්තේ සිරකරුවන් සමඟ නිරන්තරයෙන් සහ ඍජුව කටයුතු කරන බන්ධනාගාර නිලධාරීන් 3,069 දෙනෙකුට මෙතෙක් කිසිදු ගිනි අවි පුහුණුවක් ලබාදී නොමැති බවයි. බන්ධනාගාර පද්ධතිය තුළ ආරක්ෂාව තහවුරු කිරීම සහ බරපතල අපරාධකරුවන් කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇති මෙවැනි පසුබිමක, ආරක්ෂක අංශවල මූලික පුහුණුව පවා නොලබා නිලධාරීන් මෙպමණ සංඛ්‍යාවක් රාජකාරීවල නියැලීම ජාතික ආරක්ෂාව මෙන්ම ආයතනික විනය සම්බන්ධයෙන්ද බරපතල ගැටලු මතු කර තිබේ.
සිරකරුවන් විධිමත්ව කළමනාකරණය කිරීමේදී සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණු සාර්ථකව ඉටු කරගැනීමේදී නිලධාරීන් වෙත නිසි ගිනි අවි පුහුණුව ලබාදීම අත්‍යවශ්‍ය සාධකයක් බව විගණන කාර්යාලය දැඩිව පෙන්වා දී ඇත. දිනෙන් දින සංකීර්ණ වන අපරාධ ජාල සහ බන්ධනාගාර අභ්‍යන්තර ආරක්ෂාවට එල්ල වන විවිධ තර්වැම් හමුවේ, පුහුණුව ලත් නිලධාරීන්ගේ හිඟකම ආයතනයේ මෙහෙයුම් කාර්යක්ෂමතාවට මෙන්ම සමස්ත ආරක්ෂක යාන්ත්‍රණයටම සෘජු බලපෑමක් එල්ල කරන බව සමාජීය හා ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙති.
මෙම තත්ත්වය තවදුරටත් නොසලකා හැරීම බන්ධනාගාර ආරක්ෂාවට දැඩි තර්ජනයක් විය හැකි බැවින්, අදාළ බලධාරීන් වහාම මැදිහත් වී පුහුණුව ලබන්නන්ගේ ලැයිස්තු යාවත්කාලීන කරමින් අදාළ නිලධාරීන් සඳහා හදිසි ගිනි අවි පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ජාතික අවශ්‍යතාවක් උද්ගත වී තිබේ. ඉදිරියේදී ආයතනික ප්‍රතිසංස්කරණ යටතේ බන්ධනාගාර නිලධාරීන්ගේ වෘත්තීය මට්ටම සහ ආරක්ෂක හැකියාවන් ඉහළ නැංවීම සඳහා රජය සහ අදාළ අමාත්‍යාංශ මට්ටමින් විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කරනු ඇතැයි ජනතාව දැඩි අපේක්ෂාවෙන් පසුවෙති.
















