වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් ක්‍රියාත්මක කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් හදිසි ප්‍රතිකාර අවශ්‍ය වන රෝගී සහ ආබාධිත වනසතුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති පසුබිමක, එම අර්බුදයට පිළියමක් ලෙස ත්‍රිවිධ හමුදා පශු වෛද්‍ය සේවය කැඳවීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සාමාන්‍ය රාජකාරී වේලාවෙන් ඔබ්බට සති අන්ත සහ රජයේ නිවාඩු දිනවලදී වනසතුන් වෙනුවෙන් හදිසි ප්‍රතිකාර ලබාදීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටලු හමුවේ, පරිසර අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව මෙම හදිසි තීරණය ක්‍රියාත්මක කර ඇත.
මෙම තත්ත්වය තුළ වයඹ වනජීවී කලාපයේ හේරත්ගම අඩවි ආරක්ෂක බලප්‍රදේශයෙන් හමුවූ තුවාල ලැබූ අඩි පහක් පමණ උසැති ඇත් පැටවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ගුවන් හමුදා පශු වෛද්‍ය අංශය ක්ෂණිකව මැදිහත් වීම කැපී පෙනෙන අවස්ථාවක් විය. නිකවැරටිය වනජීවී සෞඛ්‍ය කළමනාකරණ ඒකකය දැනුවත් කර තිබුණද පවතින වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ප්‍රතිකාර ප්‍රමාද වීමෙන් ඇත් පැටවාගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් පිරිහීමේ අවදානමක් පැවති අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ සෘජු මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ හමුදා පශු වෛද්‍ය කණ්ඩායම මේ වන විටත් අදාළ ස්ථානයට ළඟා වී අවශ්‍ය සියලු වෛද්‍ය ප්‍රතිකාර කටයුතු ආරම්භ කර තිබේ.
වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් වන තෙක් සාමාන්‍ය රාජකාරී වේලාවෙන් පසු සහ නිවාඩු දිනවලදී දිවයින පුරා හදිසි ප්‍රතිකාර අවශ්‍ය වන සියලුම වනසතුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ත්‍රිවිධ හමුදා පශු වෛද්‍යවරුන්ගේ පූර්ණ සේවය අඛණ්ඩව ලබා ගැනීමට අවශ්‍ය අන්තර ආයතනික සම්බන්ධීකරණ යාන්ත්‍රණය මේ වන විටත් විධිමත් කර ඇත.














