දකුණු ආසියාවේ වැඩිහිටි සත්කාර සේවා ක්ෂේත්‍රයේ දැවැන්ත සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, රෝයල් නර්සින් හෝම් (පෞද්ගලික) සමාගමේ නව ප්‍රධාන කාර්යාලය කොළඹ 07 බාන්ස් පෙදෙසේදී නිල වශයෙන් විවෘත කර ඇත. වත්මන් සමාජයේ වැඩිහිටි හා රෝගී සත්කාරක සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ දැඩි අවශ්‍යතාවක් පවතින පසුබිමක, මෙම ආයතනික පුළුල්වීම හරහා මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට සහ වැඩිහිටි සුභසාධනයට ලැබෙනුයේ සුවිශේෂී පිටුබලයකි.
ඉන්දියාවේ පෝර්ටියා වෛද්‍ය ආයතනය පවා අභිබවා යමින් ස්ථිර සෞඛ්‍ය සේවකයන් 1,600කට අධික සංඛ්‍යාවකගේ සභභාගීත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ආයතනය, ගල්කිස්ස, මහරගම, පන්නිපිටිය, කඩුවෙල, මාලඹේ, හංවැල්ල, අතුරුගිරිය මෙන්ම එක්සත් රාජධානියේ ලන්ඩන් නගරය ආශ්‍රිතවත් හෙද නිවාස අටකින් සමන්විත පුළුල් සේවා ජාලයක් පවත්වාගෙන යයි. එපමණක් නොව, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට අයත් විශාලතම ගිලන් රථ සේවා ජාලයද හිමි කර ගනිමින් ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව කළමනාකරණ සහතිකයෙන් පිදුම් ලැබූ ප්‍රථම සහ එකම වැඩිහිටි සත්කාර සේවා ආයතනය ලෙස එය ජාත්‍යන්තර ප්‍රමිතීන් සපිරුණු සේවාවන් ජනතාවට සමීප කර තිබේ.
2007 වසරේදී හෙද සේවකයන් 25 දෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායමකින් ආරම්භ වූ මෙම ආයතනය, සභාපති මනුජ හේවාවසම් මහතාගේ දුරදක්නා නායකත්වය යටතේ දශක දෙකකට ආසන්න කාලයක් පුරා අඛණ්ඩව අත්කරගත් විශිෂ්ට ප්‍රගතිය මෙම නව ප්‍රධාන කාර්යාල විවෘත කිරීමත් සමඟ තවත් ඉහළ මට්ටමකට ළඟා වී ඇත. ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ අනුමැතිය ලත් මෙම ආයතනය හරහා දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් වැඩිහිටි සත්කාර සේවා තවදුරටත් පුළුල් කිරීමේ නව පරිච්ඡේදයක් සනිටුහන් වන අතර, එය මෙරට වයස්ගත වන ජනගහනයට අවශ්‍ය අත්‍යවශ්‍ය වෘත්තීය සත්කාරක සේවා අඛණ්ඩව ලබා දීමට රුකුලක් වනු ඇත.














