ශ්‍රී ලංකාව හා කාම්බෝජය අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සහ කොන්සියුලර් ශක්තිමත් කිරීමට දෙරටේ අවධානය යොමුව තිබේ. කාම්බෝජයේ නිල සංචාරයක නිරත තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති සහ කාම්බෝජයේ වැඩ බලන ශ්‍රී ලංකා තානාපතිනි ඊ.ඒ.එස්. විජයಂತಿ එදිරිසිංහ මහත්මිය, කාම්බෝජ රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති සහ අභ්‍යන්තර කටයුතු ඇමැති සාර් සොඛා මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත.
මෙම හමුවේදී දේශසීමා ඉක්මවා යන සංවිධානාත්මක අපරාධ මැඬලීම, සයිබර් තාක්ෂණය ඔස්සේ සිදු කරන මූල්‍ය වංචා සහ මිනිස් ජාවාරම්වලට එරෙහිව කටයුතු කිරීම සහ කොන්සියුලර් සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇත. කාම්බෝජයේ අන්තර්ජාල වංචා සහ මිනිස් ජාවාරම් ජාලවලට හසුවූ ශ්‍රී ලාංකිකයන් බේරාගැනීම, ඔවුන්ට තාවකාලික නවාතැන් සැපැයීම, ආගමන විගමන කටයුතු සහ මෙරටට නැවත ගෙන්වා ගැනීමේ කටයුතුවලදී කාම්බෝජ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සහ එරට බලධාරීන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් තානාපතිනිය කෘතඥතාව පළ කර ඇත.
එසේම, කාම්බෝජය තුළ ශ්‍රී ලංකා ගෞරව නියෝජිත කාර්යාලයක් (Honorary Consulate) පිහිටුවීම මඟින් කොන්සියුලර් කටයුතු සම්බන්ධීකරණය සහ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම පහසු වන බවත්, සයිබර් අපරාධ සහ මිනිස් ජාවාරම් මැඬලීම සඳහා දෙරටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර තොරතුරු හුවමාරු කරගැනීම සහ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා කර තිබේ.














