පසුගිය වසරේ ජූලි මාසයෙන් පසු ඊශ්‍රායලය විසින් සිරියාවේ අභ්‍යන්තරයට එල්ල කළ ගැඹුරුම සහ ප්‍රබලම ප්‍රහාරය ඊයේ රාත්රියේදී වාර්තා වුණා. නැගෙනහිර ඉඩ්ලිබ්හි පිහිටි අබු අල්-දුහුර් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් ප්‍රහාර 4ක් එල්ල වී ඇත්තේ සිරියානු ගුවන් හමුදාව සතු Su-22 වර්ගයේ යුද ගුවන් යානා උතුරු සිරියාවේ පුහුණු ගුවන් ගමන්වල යෙදෙන වීඩියෝ දර්ශන නිකුත් වීමෙන් පසුවයි.
බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය මෙම ප්‍රහාරය “සැක සහිත” බවට වාර්තා කළද, විශ්වාසනීය ආරංචි මාර්ග තහවුරු කරන්නේ මෙය නිසැකවම ඊශ්‍රායලය විසින්ම සිදු කළ ප්‍රහාරයක් බවයි. අසාද් පාලනය බිඳ වැටීමෙන් පසු සිරියාවේ සිය යුද ශක්තිය නැවත ගොඩනැගීමට තුර්කිය දරන උත්සාහය සහ එරට වර්ධනය වන බලපෑම සම්බන්ධයෙන් තෙල් අවීව් රජය පසුවන්නේ දැඩි කනස්සල්ලෙන්. රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා වෙනුවට හමුදාමය ක්‍රියාමාර්ග හරහා සතුරා දුර්වල කිරීමේ ඊශ්‍රායලයේ මෙම තීරණය කලාපීය සාමය තවදුරටත් අවදානමේ හෙළා තිබෙනවා.
දැන් අමෙරිකාවට පවතින ප්‍රධානම අභියෝගය වන්නේ මෙම ප්‍රහාරයේ බලපෑම සිරියාවට පමණක් සීමා නොවී, කලාපය පුරා පැතිරීම වළක්වා ගැනීමයි. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ මේ ක්‍රියාකලාපය නිසා තුර්කිය වැනි රටවල් කලාපීය ආරක්ෂාව පිළිබඳව දැඩි අවිශ්වාසයකින් සහ බියකින් පසු වන අතර, යම් හෙයකින් මෙම තත්ත්වය පාලනයෙන් ගිලිහී ගියහොත් එය මුළු කලාපයම මහා යුද ගින්නකට ඇද දැමිය හැකි බවයි විචාරකයින් අනතුරු අඟවන්නේ.














