ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුව තුළ ඉදිරි දිනවලදී අතිශය තීරණාත්මක සහ දැවැන්ත කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු වීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරමින් සිටිනවා. ඒ හරහා අමාත්‍යවරුන් තිස් දෙදෙනෙකුට වැඩි පිරිසකගේ අමාත්‍ය ධුරවල වෙනස්කම් සිදු වීමට හෝ ඔවුන් සම්පූර්ණයෙන්ම තනතුරුවලින් ඉවත් කිරීමට ඉඩ ඇති බවයි වැඩිදුරටත් අනාවරණය වන්නේ.
මෝදි රජයේ ඉතිහාසයේ සිදු වන විශාලතම ප්‍රතිසංස්කරණවලින් එකක් ලෙස සැළකෙන මෙම කැබිනට් මණ්ඩල මාරුව එළඹෙන රක්ෂා බන්ධන් (Raksha Bandhan) උත්සවයට පෙර ක්‍රියාත්මක වනු ඇති බවට දේශපාලන විචාරකයෝ පුරෝකථනය කරති. ආණ්ඩුවේ ඉදිරි සැළසුම් සහ ප්‍රතිපත්ති වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම හදිසි පියවර ගැනීමට අගමැතිවරයා සූදානම් වන බව පෙනෙන්නට තිබේ.
මෑතකදී භාරතීය ජනතා පක්ෂයේ නව ජාතික සංවිධාන කමිටුව ප්‍රකාශයට පත් කිරීමත්, පියුස් ගොයෙල් වැනි ප්‍රබල අමාත්‍යවරුන්ට පක්ෂයේ අතිරේක වගකීම් පැවරීමත් සමඟ මෙම කැබිනට් සංශෝධනය පිළිබඳ කතාබහ තවත් තීව්‍ර වී ඇත. කෙසේ වෙතත්, මෙම වෙනස්කම් හරහා ආණ්ඩුවට සහ පක්ෂ සංවිධානයට නව ජවයක් ලබා දීම මූලික අපේක්ෂාව වී තිබේ. ඉන්දීය මධ්‍යම රජයේ ඉදිරි දේශපාලන ගමන් මඟ උඩුයටිකුරු කළ හැකි මෙම දැවැන්ත කැබිනට් පෙරළියත් සමඟ අගනුවර දේශපාලන උණුසුම මේ වන විට ඉහළ ගොස් ඇත.














