පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මිහින්තලේ සහ ඒ අවට ප්‍රදේශවල කුඩා වැව් රැසක ජලය ශීඝ්‍රයෙන් සිඳී යෑම ආරම්භ වී ඇති අතර, ඒ හේතුවෙන් යල කන්නයේ වගා කරන ලද කුඹුරු අක්කර 150ක් පමණ විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇතැයි ගොවීන් පවසති.
ප්‍රදේශයේ ඇතැම් වැව් මේ වන විටත් සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇති අතර, විශේෂයෙන්ම මිහින්තලේ නෑටියගම වැව සම්පූර්ණයෙන්ම සිඳී යාම නිසා ඒ යටතේ වගා කළ කුඹුරු අක්කර 96ක් පමණ විනාශ වෙමින් පවතී. ප්‍රදේශවාසීන් තම දෛනික ජල අවශ්‍යතා සපුරා ගත්තේ ද මෙම වැවෙන් බැවින්, ජලය සිඳී යාමත් සමඟ ඔවුන් දැඩි අපහසුතාවකට පත්ව සිටී. මීට අමතරව මිහින්තලේ කසමඩුව වැව, සීප්පුකුලම මැද වැව සහ තම්මැන්නාව ඇතුල් වැව යන වැව්වල ද ජලය සිඳී යමින් පවතින අතර, මෙම දැඩි ජල අර්බුදයට සහ වගා හානියට කඩිනම් සහනයක් ලබා දෙන ලෙස අසරණ ගොවි ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.














