කුලී රථ (Taxi) සේවාවන් භාවිතා කරන මගීන් සොරකම්, කොල්ලකෑම් සහ හිරිහැර කිරීම්වලින් ආරක්ෂා කරගැනීම සඳහා විශේෂ උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කර තිබේ. කුලී රථ රියැදුරන් හෝ එම සේවාවන් සම්බන්ධ කරගනිමින් සිදුවන අපරාධ වාර්තා වීම හමුවේ මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.
ගමන ආරම්භ කිරීමට පෙර අදාළ වාහනය නිසි පරිදි ලියාපදිංචි වූවක්ද යන්නත්, එහි අංකය, මාදිලිය සහ රියැදුරුගේ නම නිවැරදිද යන්නත් පරීක්ෂා කරගන්නා ලෙස පොලිසිය දන්වා සිටියි. රාත්‍රී කාලයේ ගමන් කිරීමේදී තම ගමන් මාර්ගය සහ සජීවී පිහිටීම Google Maps හෝ වෙනත් ක්‍රමයකින් පවුලේ අයෙකුට හෝ විශ්වාසවන්ත අයෙකුට හුවමාරු කරගැනීම වැදගත් වන අතර, රියැදුරු විසින් පාළු හෝ වෙනත් නොදන්නා මාර්ගවලින් ගමන් කිරීමට උත්සාහ කරන්නේ නම් දැඩි ලෙස සැලකිලිමත් විය යුතුය.
එමෙන්ම, ගමන අතරතුර නොදන්නා පුද්ගලයන් ලබාදෙන ආහාර හෝ බීම වර්ග ලබානොගැනීමට වගබලා ගත යුතු අතර, මන්ද එලෙස ආහාර ලබාදී සිහිමුර්ඡා කර අපරාධ සිදුකළ අවස්ථා වාර්තා වී ඇත. මුදල්, ලැප්ටොප්, ජංගම දුරකථන සහ ස්වර්ණාභරණ වැනි වටිනා ද්‍රව්‍ය ප්‍රදර්ශනය කරමින් ගමන් කිරීමෙන් වැළකී සිටින ලෙසද උපදෙස් දී ඇත. ගමන අතරතුර යම් සැකකටයුතු තත්ත්වයක් මතු වුවහොත් වහාම 119 හදිසි පොලිස් ඇමතුම් අංශයට හෝ 118 හදිසි තොරතුරු සේවයට අමතා වාහනයේ විස්තර ලබාදෙන ලෙස පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටී.














