කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පැතිරී යන දරුණු ඉබෝලා වසංගතය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2,325ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එරට මහජන සෞඛ්‍ය ආයතනයට අනුව, වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 4,945ක් දක්වා වැඩි වී ඇති අතර, ගත වූ පැය 24 ඇතුළත පමණක් නව ආසාදිතයන් 101 දෙනෙකු හඳුනාගෙන ඇත. මේ වන විට කොංගෝවෙන් වාර්තා වන 17 වැනි ඉබෝලා වසංගතය මෙය වන අතර, මීට පෙර එරට වාර්තා වූ දරුණුතම වසංගතය වූ 2018-2020 කාලයේ මරණ 2,299ක වාර්තාව ද මෙය විසින් ඉක්මවා ගොස් ඇත.
මෙම වසංගතයේ පැතිරීමේ වේගය හමුවේ 2014-2016 බටහිර අප්‍රිකානු ඉබෝලා වසංගතයටත් වඩා බරපතළ තත්ත්වයක් උද්ගත වීමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් අද්නෝම් අනතුරු අඟවා ඇති අතර, එය පාලනය කිරීමට ජාත්‍යන්තර මට්ටමේ හදිසි මැදිහත්වීමක් අත්‍යවශ්‍ය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.














