2026 ලෝක ආහාර දිනයට සමගාමීව, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ හැටන් නැෂනල් බැංකුව (HNB) එක්ව **’ජාතික යෞවන නවෝත්පාදන අභියෝගතාව’ (Youth Innovation Challenge)** නිල වශයෙන් ආරම්භ කර ඇත.
“අද නවෝත්පාදනය කරමු – හෙට දවස පෝෂණය කරමු” (Innovate Today – Nourish Tomorrow) යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම තරගය, දිවයින පුරා විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් ඉලක්ක කර ගනිමින් පවත්වනු ලබයි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා ආහාර නිෂ්පාදන පද්ධති මුහුණ දෙන අස්වැන්න නෙළා ගැනීමෙන් පසු සිදුවන හානි, දේශගුණික වෙනස්වීම්, ජලය අපතේ යාම සහ වෙළඳපොළ ගැටලු වැනි අභියෝග සඳහා නව නිර්මාණාත්මක හා ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කිරීමට මෙහිදී සිසුන්ට අවස්ථාව හිමිවේ.
අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ, විශ්වවිද්‍යාල සිසුන්ගේ නිර්මාණශීලී අදහස් සැබෑ ලෝකයේ ගැටලු විසඳීමට යොදා ගැනීමට සහ ශක්තිමත් ආහාර සුරක්ෂිතතාවක් ඇති රටක් ගොඩනැගීමට මෙමඟින් විශාල රුකුලක් ලැබෙන බවයි. රාජ්‍ය අංශයේ අමාත්‍යාංශ කිහිපයක සහ පෞද්ගලික ආයතන සහ තාක්ෂණික හවුල්කරුවන් රැසකගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වන මෙම තරගයේ අවසාන වටයට තේරෙන හොඳම කණ්ඩායම් සඳහා මුදල් ත්‍යාග සහ ජාතික මට්ටමේ ඇගයීම් හිමි වනු ඇත.













