ඉන්දියාවේ මුම්බායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව මුම්බායි නුවර වෙත ඉහළ පෙළේ වෙළෙඳ දූත පිරිසකගේ සංචාරයක් සාර්ථකව සංවිධානය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. දෙරට අතර ද්විපාර්ශ්වික වාණිජ සබඳතා පුළුල් කිරීම, සැපයුම් දාම ඒකාබද්ධතාව ශක්තිමත් කිරීම මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ, කාර්මික සහ කෘෂිකාර්මික අංශයන්හි හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ විය.
මෙම දූත පිරිස ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී එස්.පී. චමින්ද යන මහත්වරුන් විසින් මෙහෙයවා ඇත. ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය, ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමය ඇතුළු මෙරට ප්රමුඛ පෙළේ ව්‍යවසායකයන් රැසක් මීට එක්ව සිටියහ. ජියෝ වර්ල්ඩ් සම්මේලන මධ්‍යස්ථානයේ පැවති ඉන්දියානු ජාත්‍යන්තර ස්වර්ණාභරණ ප්‍රදර්ශනය (IIJS) නැරඹීමට එක් වූ පිරිස, ශ්‍රී ලංකාවේ සදාචාරාත්මක මූලාශ්‍රවලින් ලබාගන්නා නිල් මැණික් සඳහා ඉන්දියානු වෙළෙඳපොළ පුළුල් කිරීමේ සාකච්ඡා කිහිපයක්ද පවත්වා තිබේ.
















